Explore the richness of the Scriptures through our Sinhala Bible Study series from the Archdiocese of Colombo. Designed to deepen your understanding and strengthen your faith, these resources offer guided reflections on the Word of God for individuals and communities.
හැඳින්වීම
උත්පත්ති පොත පංච පුස්තකයේ මෙන්ම ශු. බයිබලයේද පළමු පොතයි. ග්‍රීක යෙදුමට අනුව ‘උත්පත්ති‘ යන නාමයෙන් අරුත් දැක්වෙනුයේ ආරම්භයයි. මෙම අරුත ගෙන දෙන හෙබ්‍රෙව් යෙදුම වනුයේ “බෙරෂිට්” ය.
උත්පත්ති පොත පරිච්ඡේද 50කින් සමන්විත වන අතර ප්‍රධාන තේමාවන් දෙකකට බෙදා වෙන් කළ හැකිය.
ප්‍රාග් ඉතිහාසය (1-11 පරිච්ඡේද)
ආදී පීිතෘ ඵෙතිහාසික පසුබිම (12-50 පරිච්ඡේද)
විශ්වයේ මැවීම, එහි මුදුන් මල් කඩ වන මනුෂ්‍යයාගේ මැවීම (පුරුෂයා, ස්ත්‍රිය), පාපය සහ එහි ආදීනව ලෙස නියම කරන ලද දඬුවම් ආදිය පළමු කොටසින් පැහැදිලි කෙරේ.
දෙවන කොටස මුළුමනින්ම වෙන්ව පවතිනුයේ ආබ්‍රහම්, ඊසාක් සහ ජාකොබ් යන ප්‍රධාන ආදී පිතෘ චරිත ත්‍රිත්වය විස්තර කිරීම සඳහා ය.
උත්පත්ති පොතට අනුව විශ්වයේ සෑම දෙයක් මෙන්ම සෑම කෙනෙකුම ජනිත වනුයේ දෙවියන් වහන්සේගෙන්ය. සමස්ත මැවීමේ කිරීටය වන මනුෂ්‍යයාව මවන ලද්දේ ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම දායාද කරමිනි. එනමුත්, මනුෂ්‍යයා තුළ වූ ආත්මාර්ථකාමී, අසීමිත අභිලාශයන් මැවුම්කරුවාණන් වන දෙවිඳුනට එරෙහිව ක්‍රියා කිරීමට ඔහුව පොළඹවන ලදී. දෙවියන් වහන්සේගෙන් ලද අනතුරු ඇඟවීම් සහ දඬුවම් හමුවේ පවා පාපය අඛණ්ඩව පැතිරීමට මිනිසාගේ මෙම ආත්මාර්ථකාමී ස්වභාවය හේතු විය.
උන්වහන්සේ ආදී පිතෘන් සමඟ ගිවිසුම් වලට එළඹෙමින් ඔවුනට විවිධ වූ පොරොන්දු දායාද කළ සේක.
මනුෂ්‍ය සංහතියටම ආශිර්වාදයක් වීමට දෙවියන් වහන්සේගේ නියෝජිතයා ලෙස තෝරා ගත් ආබ්‍රහම් තුමන්, වඩින්නට නියමිත, දෙවියන් වහන්සේගේ තෝරාගත් තැනැන්වහන්සේ සහ සියළු ආශිර්වාදයන්හි උල්පත වන ජේසුස් වහන්සේගේ පෙරනිමිත්තයි.
එලෙසම තම සොහොයුරන් විසින් ඊජිප්තුවරුනට විකුණන ලදුව පසුව ඔවුන්ගේම ගැලවුම්කරුවා වූ ජෝසප්ද, රෝමවරුනට පාවා දෙන ලදුව කුරුසියේ මරණයට පත් වෙමින් මුළු ලොවේම ගැලවුම්කරුවාණන් බවට පත් වූ ජේසුස් වහන්සේගේ පෙරනිමිත්තයි.
විග්‍රහය - පරිච්ඡේද 1 සිට 20 දක්වා
පරිච්ඡේද 1-5 : දෙවියන් වහන්සේගේ ශුද්ධවන්තභාවය
මැවීමේ කතාන්දරය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා ඇති බව පෙනෙන්නට තිබුනද මෙම පොත පුද්ගලයන් සම්බන්ධව ද දැඩි සැලකිල්ලක් දක්වන බව පෙනේ. දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය ගැන දක්වන ලද විශේෂ අවධානය හා එයට මිනිසාගේ ප්‍රතිචාරය අපට වැදගත්ය.
මෙම කොටසෙහි පුද්ගලයන් තිදෙනෙකුට විශේෂ අවධානයක් දෙනු ලබයි.
ආදම් - මිනිසා තමාව සඟවා ගනියි (3:8-10)
කායින් - මිනිසා නිදහසට කාරණා ඉදිරිපත් කරයි (4:9-12) පාපය අප හා දෙවියන් වහන්සේ අතර සම්බන්ධතාවය නැති කරන අතරම (3 පරිච්ඡේදය), මිනිසා සමඟ තිබෙන සම්බන්ධතාවයද නැති කරයි. (4 පරිච්ඡේදය)
ඒනොක් - මිනිසා තමන්ව යටහත් කර ගනියි (5:22-24)
තුන්වන පරිච්ඡේදයෙහි මිනිසා කැරලිකරුවෙකි. හතරවැන්නෙහි පලා යන්නෙකි. පස්වැන්නෙහි දෙවියන් වහන්සේ සමග ඇවිදින මිතුරෙකි.
පරිච්ඡේද 6-11 : දෙවියන් වහන්සේගේ විනිශ්චය
දෙවියන් වහන්සේ ශුද්ධවන්ත වන්නා සේම සාධාරණය.
මෙම කොටසින් ප්‍රධාන සිද්ධි දෙකක් විස්තර කෙරේ.
ජලගැල්ම
බාබෙල් කොත
මෙම අවස්ථා දෙකෙහිදීම දෙවියන් වහන්සේගේ අරමුණ වන්නේ මිනිසාගේ පාපය විනිශ්චය කිරීම සහ පාපය නිසා ලෝකයට සිදුවිය හැකි භයානක විපාක සීමා කිරීමයි.
මිනිසාගේ සිතුවිලි අයහපත්ය. (6:5,11:6) දෙවියන් වහන්සේගේ විනිශ්චය තුළ පළිගැනීමක් නැති අතර උන්වහන්සේ මිනිසාගේ හිතුවක්කාර ජීවිත රටාව ගැන අතිශයින්ම දුක්වෙයි. (6:6)
මෙහි ප්‍රධාන චරිතය නෝවාය.
ඔහු දෙවියන් වහන්සේගේ හදවත ගැන සතුටු වෙයි (6:8)
ඔහු දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වෙයි (6:22,7:5)
ඔහු දෙවියන් වහන්සේගේ යහපත පිළිගනියි (8:20)
ඔහු දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අත්දකියි (9 පරිච්ඡේදය)
මිනිසා පුදුමාකාර සංකලනයකි. ඔහුට දෙවියන් වහන්සේ වෙනුවෙන් අල්තාරයක් ගොඩ නැගිය හැකි වන අතරම (8:20) තමන්ටම කියා කොතක් ගොඩ නගා ගැනීමටද අවශ්‍යය. (11:5) පළමුවැන්න මිනිසා දෙවියන් වහන්සේ සමග ඇති ඇතුලාන්ත සම්බන්ධතාවය පෙන්නුම් කරන අතර දෙවැන්න මිනිසා දෙවියන් වහන්සේට විරුද්ධව කරන සටන පෙන්නුම් කරයි.
කෙසේ වුවත් අවසාන තීරණය දෙවියන් වහන්සේ සතුය. මිනිසා ”එන්න, අපි අහස උසට නගින කොතක් ඇති නගරයක් අපටම ගොඩනගා, කීර්තිමත් වෙමු” යි (11:4) කියන විට දෙවියන් වහන්සේ ”එබැවින් අපි බැස ගොස්, ඔවුන් එකිනෙකාට නොවැටහෙන පරිදි ඔවුන්ගේ භාෂාව අවුල් වියවුල් කරමු” යයි (11:7) වදාරන සේක!
පරිච්ඡේද 12-20 : දෙවියන් වහන්සේගේ බලය.
මෙම කොටසෙහි ප්‍රධාන චරිතය වන්නේ ආබ්‍රහම්ය. 12 වන පරිච්ඡේදය ආරම්භ වන්නේ විධානයකින් (”නුඹේ ... අත්හැර දමා, මා පෙන්වන්නට යන දේශයට යන්න”) සහ පොරොන්දුවකිනි. (”මම නුඹට ආශිර්වාද කරන්නෙමි”) අපට යම් දෙයක් කරන්නට පවසන සැම විටම එයට කීකරු වීමට අවශ්‍ය ශක්තියද දෙවියන් වහන්සේ සපයන සේක.
ආබ්‍රහම්ගේ ජීවිතය මත ක්‍රියා කළ දෙවියන් වහන්සේගේ අසීමාන්විත බලය සලකා බලමු.
පාපය පරාජය කිරීමේ බලය (12:17-20)
අභියෝග ජය ගැනීමට බලය (13:7-18)
සතුරන් වනසා දැමීමේ බලය (14:15-24)
ඇතුලාන්ත ආශාවන් සංසිඳුවා ගැනීමේ බලය (”දරුවකු නැති මට, ඔබ වෙන කුමක් දුන්නත් කුමන පලක්ද?”) (15:2)
පරිච්ඡේද 15-18 තුලින් ආබ්‍රහම් හා සාරාට දෙවියන් වහන්සේගෙන් ලැබුන පණිවිඩය හා ඒ පිළිබඳව ඔවුන් දැක්වූ නොඉවසිලිමත් භාවය වාර්තා කරයි. (16 පරිච්ඡේදය)
දෙවියන් වහන්සේ සිය දීමනා සියල්ලම ක්ෂණිකව අපට ලබා නොදෙන සේක. ඒ සඳහා හොඳම වේලාව දන්නේ උන්වහන්සේ පමණකි. දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටුවේ යැයි ආබ්‍රහම් විශ්වාස නොකරයි. (17:17) සාරාද එසේමය. (18:12) නමුත්, සියළු බලැති දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිවක් නැති බව ඔවුන් පසුව තේරුම් ගනී. (18:14)
ශුද්ධ ලියවිල්ල මිනිසා ගැන සඳහන් කරද්දී ඉතා අගනා සමබරතාවයක් පවත්වා ගනී. මෙම පරිච්ඡේද වල ආබ්‍රහම් අවිශ්වාසවන්ත නොඉවසිලිමත් පුද්ගලයෙකු ලෙස නිරූපණය ඇති බව සත්‍ය නමුත් ඔහු තම සහචරයන් ගැන සැලකිල්ලක් දක්වන (18:22) සහ තමන් වැනිම වූ අනෙකුත් පව්කාරයන් වෙනුවෙන් දෙවියන් ඉදිරියේ ආයාචනා කරන පුද්ගලයෙකුද බව සඳහන් කිරීමෙන් මේ සමබරතාවය පැහැදිලි කෙරේ.
පව්කාර ජන කොට්ඨාශයක් මත දෙවියන් වහන්සේගේ විනිශ්චය සහ දඬුවම 19 වන පරිච්ඡේදයේ වාර්තා කෙරේ. නමුත් මෙවර විනාශය සිදු කෙරෙන්නේ ජලය මගින් නොව ගින්දර මගිනි. මිනිසා පාඩම් ඉගෙන ගැනීමට කොතරම් නම් ප්‍රමාද ද? ආබ්‍රහම් 20 වන පරිච්ඡේ්දය තුළ ද 12 වන පරිච්ඡේදය තුළ විස්තර කළ වරදම නැවත වරක් සිදු කිරීමෙන් මෙය යළිත් තහවුරු කෙරේ.
යාච්ඥාව සඳහා ඔහුගේ ආශාව මෙම පාඨ තුලින් විස්තර කෙරේ. 15:2, 18:22-33, 20:17
ක්‍රියාවට නැංවීම 1
විග්‍රහය - පරිච්ඡේද 21 සිට 50 දක්වා
පරිච්ඡේද 21-26 : දෙවියන් වහන්සේගේ දයා කරුණාව
ආබ්‍රහම් ගැන තවදුරටත් සඳහන් කෙරුනත් කතුවරයාගේ අවධානය දැන් යොමු වන්නේ පොරොන්දුවූ පුත්‍රයා වන ඊසාක් වෙතය. ලබන්නට නුසුදුසු තත්වයක සිටියදීත් අපට ලැබෙන දෙවියන් වහන්සේගේ කරුණාව මෙම කොටසෙහි ප්‍රධාන තේමාවයි.
පුතෙකු ලබා දී තම සිහින සැබෑ කර ගැනීමට ආබ්‍රහම්ට සහ සාරාට දයාව දැක්වීමෙන් නොනවතින දෙවියන් වහන්සේ හාගර් සහ ඇගේ පුත්‍රයාටද දයාව දක්වන සේක. (21:9-20)
ආබ්‍රහම්ගේ ඇදහිල්ල හා දෙවියන් වහන්සේ තුළ යැපීම පරික්ෂා කර බැලූ අවස්ථාවේදී බැට`ඵවෙකු දානය කිරීම (22:11-14) ඊසාක්ට මනාලියක් ලබා දීම (24:12) හා ඔවුන්ට දරුවන් ලබාදීම (25:21) තුළද දෙවියන් වහන්සේගේ කරුණාව දක්නට ලැබේ.
පියා විසින් කළ පාපයන් ඉතා පහසුවෙන් පුතා විසින්ද සිදු කිරීම ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. (26:7 සමග 12:13, 20:5 සංසන්දනය කරන්න)
ඊසාක්ගේ කතන්දරය යනු දෙවියන් වහන්සේගේ නිර්ලෝභී කරුණාවේ කතන්දරයයි.
දෙවියන් වහන්සේ,
ඊසාක්ගේ දිවි රැක දෙයි (22)
ඊසාක්ට සහකාරියක් සොයා දෙයි (24)
ඊසාක්ගේ යැදුම් වලට පිළිතුරු ලබා දෙයි (25:21)
පරිච්ඡේද 27-36 : දෙවියන් වහන්සේගේ ඉවසීම
දැන් අපට ජාකොබ් යන චරිතය හමුවේ. කුමන පැත්තෙන් බැලුවත් කිසිදු අයුරකින් ආකර්ශණීය චරිතයක් නොවන හෙතෙම, ‘ආරම්භයන්ගේ පොත‘ වන උත්පත්ති පොතේදී,
දෙවියන් වහන්සේට කෙනෙකුගේ ස්වභාවය කොතෙක් දුරට පරිවර්තනය කළහැකිද කියාත්
එසේ වෙනස් කළ කෙනෙකු දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ඨ කර ගැනීමට උපකරණයක් ලෙස භාවිතා වන්නේ කෙසේද කියාත්
අපට මනාව පැහැදිලි කර දෙන නිදර්ශනයකි.
දෙමාපියන්ගේ අවාදර්ශය මෙහිදී නැවත නැවත පෙන්නුම් කෙරෙන තේමාවකි. ආබ්‍රහම් සිදු කළ පාපය ඊසාක්ද සිදු කරයි. (26:7) තම පුත්‍රයාට අයාලේ යාමට මග පෙන්වන්නේ රෙබෙකාය. (27:6-13)
හෙබ්‍රෙව් චින්තනය තුල වචනයට දී ඇති බලය නිරීක්ෂණය කරන්න. දානය කරන ලද ආශිර්වාදයක් නැවත අවලංගු කළ නොහැකිය. (27:37)
පාපයට විශාල මිලයක් ගෙවන්නට සිදුවේ. රෙබෙකාගේ ක්‍රියාව ඇගේ නිවසට (27:41) සහ හදවතට (27:46) අධික ශෝකයක් ගෙනදෙයි. ජාකොබ් ස්වාර්ථයට මුල් තැන දුන්, (28:20) තම අභිප්‍රායන් මුදුන්පත් කරගැනීම එකම අරමුණ කරගත් කෙනෙකු බවට පත්වේ.
සමස්ත සිදුවීම් දාමය තුළම දක්නට ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ ඉවසීමයි. උන්වහන්සේගේ ජනතාව තමන් ගැන පමණක් සිතන අතරම අන් මිනිසුන්ට අකාරුණික වෙයි. කෑදරකම (31:1-33) බොරුව (31:34-35) ආරවුල් (31:51-52) බිය (32:4-33 හා විශේෂයෙන් 32:7) වංචාව (34:13-15) මිනීමැරුම් (34:24-31) මංකොල්ලය (34:2 හා 35:4 සංසන්දනය කරන්න) රූප වන්දනාව (35:2) මෙම පරිච්ඡේද තුල වාර්තා වේ. සතුටුදායක නොවන මේ සැම සිදුවීමක් තුලම දෙවියන් වහන්සේ තම සේවකයා සමග නොකඩවා සන්නිවේදනය පවත්වා ගනිමින් වෙනස් වන්නට ඇවටිලි කරන සේක. (28:13, 31:11, 32:24, 35:7,9-15) දෙවියන් වහන්සේ ජාකොබ් හා ඔහුගේ පවුලේ අය ගැන ඉවසීමෙන් කටයුතු කරන සේක.
පරිච්ඡේද 37-50 : දෙවියන් වහන්සේගේ සර්වබලධාරිත්වය
මේ සියළු සිදුවීම් වලින් අනතුරුව අපට ජෝසප් ව හමුවේ. අසතුටුදායක පවුල් පරිසරයක් මධ්‍යයේ වුවද ඔහු ජයග්‍රහණය ලබන ආකාරය ආශ්වාදජනකයි. පෙර පරිච්ඡේද තුල හමුවූ කූඨ උපාය මාර්ග දැන් දක්නට නොලැබේ.
මෙහිදී අපට,
ශුද්ධවන්තභාවයේ (39:9, 41:38, 50:15-21)
වීරත්වයේ (39:20, 40:15)
බලාපොරොත්තුවේ (50:24)
කතාන්දරයක් දැකිය හැක.
දෙවියන් වහන්සේගේ සර්වබලධාරිත්වය හා උන්වහන්සේගේ දිව්‍ය සංරක්ෂණමය රැකවරණය ජෝසප්ගේ කතාන්දරය මගින් විදහා පායි. (39:21-23, 45:5-7)
සියල්ල මනා ලෙස සාරාංශගත කරන ජෝසප් මෙසේ පවසයි. ”ඔබ නම් මට විරුද්ධව නපුරුකම් සිතුවහුය. එහෙත් අද සිදුවී තිබෙන පරිදි, දෙවියන් වහන්සේ බොහෝ මිනිසුන්ගේ ජීවිත ගලවන පිණිස ඒවා යහපතට හැරවූ සේක.” (50:20)