ARCHDIOCESE
archdiocesan heraldry
OF COLOMBO
දේශනාව: කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ 50වන ස්වර්ණ ජයන්තිය සැමරීමේ දිව්‍ය පූජා යාගය 2025 ජූනි මස 30වන දින කොටහේන සා.ලුසියා ආසන දෙව් මැදුර.

ආදරණීය සහෝදර සහෝදරියනි,

එදා, ඒ කියන්නේ 1975 ජූනි 29දා, මා කිසි සේත් දැන නොසිටිය තවත් තේවාචාරිවරුන් 358 දෙනෙකු සමග, මගේත් ඔවුන්ගේත් පූජකවර ප්‍රධානයේ දේව මෙහෙයට සහභාගී වෙමින් රෝමයේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරු චතුරශ්‍රයේ බිම දිගාවී, සියලු සාන්තුවරයන්ගේ ප්‍රාර්ථනය ගයනු ලබනවිට ධාන්‍යශිලීව සිටි මොහොතේදී, අපේ පවුලෙන් කාටවත් එන්නට එදා පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා හැකියාවක් තිබුණේ නැති පසුබිමක, ඒ වගේම මටත් ඒ අය ලංකාවෙන් ගෙන්වා ගන්නට මුදල් අත තිබුනෙත් නැති පසුබිමක කොහොමටවත් කොයිම විදියකටවත් දෙවි සමිඳාණන් වහන්සේ මා වෙනුවෙන් සකස්කර තියෙන සැලැස්ම මොකක්ද කියලා මට වැටහුණේ නැහැ.

පිටත්වීම

මට දැනුනේ හරියට දෙවි සමිඳාණන් වහන්සේ එදා, ආදී පිතෘ ආබ්‍රහම්ට කතා කරලා තමන්ගේ රට ජාතිය අත හැරලා දාලා, හාරන් දේශයෙන් පිටත් වෙලා යන්න කියලා කියපු වෙලාවේ දැනෙන්නට ඇති දේ වගේ ප්‍රශ්නාර්ථයක්.

හෙබ්‍රෙව්වරුන්ට ලියූ ලිපියේ මේ ගැන සඳහන් වන්නේ “ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවනු ලැබූ කල තමා යන්නේ කොහේදැයි නොදැන, තමාට උරුමයක් පිණිස පසුව ලැබෙන්නට යන ස්ථානයකට පිටත්ව යන ලෙස කීකරු වී, නික්ම ගියේය” (හේබ්‍රෙව් 11:8) යනුවෙන්ය. එම ලියවිල්ලේම, සාරාද එලෙසම මහලුවියට පැමිණ සිටියත් තමන්ට දෙවියන් වහන්සේ දුන් පොරොන්දුව ගැන ඇදහිල්ලෙන් කටයුතු කල බවත්, ඇදහිල්ලෙන් ආබ්‍රහම් ඊසාක් නම් වූ, තම එකම දරුවා පූජා කරන්නට මැලි නොවූ බවත්, මොසෙස්ගේ දෙමව්පියෝද “ඔහු සුන්දර දරුවෙකු බව දැක රාජ ආඤාවට බිය නොවී” (හේබ්‍රෙව් 11:23) ඔහු තුන් මසක් සඟවා තබා ගත් බවත්, මොසේස්ද රාජ උදහසට බිය නොවී මිසරය අත හැර ගිය බවත්, ලියවී තිබෙන වදන් මේ කරුණේදී වැදගත් බව එදා මට වැටහුනේ නැහැ.

එහෙත් පසුව මේ ලියවිල්ලේ තෝරාගත් දාසයන් වන අප ගැන දෙවියන් වහන්සේ දක්වන සීමා රහිත දයා ගුණය විස්තර කර ඇති මේ වදන් මට දුන්නේ අමුතුම ධෛර්යයක්.

එම ලියවිල්ලේම තවත් තැනක :“මේ සාවිශාල සාක්ෂිකාර සේනාවකින් අප වටවී සිටින නිසා, සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන්ද ඉවතලා, ඇදහිල්ලේ කතෘවරයාණන්ද එහි පරිපූරකයාණන්ද (Finisher - පරිපුර්ණත්වයට ගෙන එන්නා) වන ජේසුස් වහන්සේ දෙසම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට වීර්යයෙන් (12:1-3) යනුවෙන්ද ලියවී තිබෙනවා. එලෙසම “පාපයට විරුද්ධව කරන සටනේදී ඔබ තවමත් ලේ වගුරුවන තැනට පත්ව නැත.” (VS 4) කියා මේ කැපවීම කොයිතරම් විය යුතුදැයි දක්වා තිබෙනවා.

නැවතත් “ඒ නිසා ඔබ අධෛර්්‍යයව විධාවට පත් නොවන පිණිස තමාට විරුධව නැගී සිටි පවුකරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනන් වහන්සේ ගැන සිතා බලන්න” (VS 3) මෙහිදී විශ්වාසය තුල උන්වහන්සේට කීකරුවී තම ජීවිත හැඩගස්වාගත් ආබ්‍රහම් වැනි බොහෝ දෙනෙකු ගැන සඳහන් වී තිබෙන්නේ අපටත් ඒ මග කියා දෙන්නටයි.

එදා අපගේ පූජකවර ප්‍රදානයේදී ශුද්ධෝත්තම පියතුමා සිය දේශනයේදීද ඒ ගැන මතක් කළා. සීමොන් පේදුරුතුමන්ට ක්‍රිස්තුන් වහන්සේ වදාළ වදන් ගැන එහිදී මතක් කරනු ලැබුවා. ඒ වදන් වුනේ: “ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහි ය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහි ය, වෙන කෙනෙකු ඔබේ ඉඟටිය බැඳ, ඔබ කැමැති නැති තැනකට ගෙනයනු ඇතැ” යි වදාළ සේක.” (ජුවාම් 21:18)

Truly, truly, I say to you, when you were young, you girded yourself and walked where you would; but when you are old, you will stretch out your hands, and another will gird you and carry you where you do not wish to go.” (John 21:18)

මග පෙන්වූවෝ

සමිඳාණන් වහන්සේ, එදා මා මගේ පූජාත්වරය ලද දිනයේ,ශු. පේදුරුතුමන් මෙන් මා උන්වහන්සේට අයිතිකර ගත් බව, මට දැන් වැටහේ. එතැනින් ඇරඹුණු ඒ, මා තෝරානොගත්, එහෙත් උන්වහන්සේ තෝරාගත් ගමන් මග මට ඇතැම් විටෙක බය හා වික්ෂිප්ත හැඟීම් ඇති කළ අවස්ථා රැසක් මැද්දෙන් සකසන්නට ඇති බව දැනේ. ඒ ගමන් මග පෙන්වා දුන් බොහෝදෙනෙකු සිටිති. ඔවුන් මගේ මේ ගමන් මග, මා හා එක්වී සමිඳු මග ගෙන යනු ලබන්නට දුන් සහයෝගය හා මිත්‍රත්වයද මට ලැබුණු දේව තිළිණ වෙති. මේ ගමන් මගේ කෙළවර වන්නේ උන්වන්සේගේ කැමැත්ත ඉටුවීමට ඉඩහැරීම තුල, පාරිශුද්ධවත් ජීවිතයක් වෙත ගමන් කරමින් උන්වහන්සේට ප්‍රශංසාව ගෙන දීමට අපට ලැබෙන ඉඩකඩ තුලය.

ශුද්ධවන්ත භාවයට මග

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පරිශුද්ධත්වය පිලිබඳව ලියූ ගවූඩේටේ එට් එක්සුල්ටාටේ (GAUDETE ET EXSULTATE) යන ලියවිල්ලේ සඳහන් කළේ “ශුද්ධවන්ත භාවය ගැන බිය නොවන්න. එය ඔබගේ ශක්තිය, ජීවමාන බව හා ප්‍රීතිය කිසිසේත් අඩුනොකරයි. ඒ වෙනුවට සිදුවන්නේ ඔබ මැවූ දෙවි සමිඳාණන් ඔබ ගැන සැලසුම් කළ දෙය පරිපුර්ණත්වයට පැමිණ ඔබට හිමි ගැඹුරු අනන්‍යතාවය වෙත ඔබ වර්ධනය වීමයි.” (GE 32) යනුවෙනි.

එලෙසම එම ලියවිල්ලේ තවත් තැනක සඳහන් වන්නේ:“සාන්තුවරයෙකු නම් ඉතිහාසයේ එක්තරා අවස්ථාවක ශු. සුවිශේෂයේ එක පැතිකඩක් පරාවර්තනය කිරීම හා මාංශගත කිරීම සඳහා පියාණන් වහන්සේ විසින්ම සැලසුම් කරනලද ධර්මදුතික කැඳවීමකි.” යනුවෙනි. ඒ අනුව මවු කුසයේ සිට අප සැමගේ ජීවිත සැලසුම් කරන්නේ දෙවියන් වහන්සේමය. ඒ සැලසුමට අප විශ්වාස වන්තව අනුගත වන්නේ නම්, අප ජීවිතය තුල සිදුවන විවිධ සිදුවීම් හා තෝරාගැනීම්ද අපට මුණගස්වන විවිධ පුද්ගලයන්ද මගින් උන්වහන්සේ අප ශුද්ධවත් බවට පත් කරන සේක.

මේ අනුව අපගේ මනුෂ්‍යත්වය තුල සිදුවන පාපයේ තෝරාගැනීම් වලින් මිදී, අපි උන්වහන්සේගේ දයාවේ පහස ලබන්නට යොමුවීම වැදගත් වේ. එනම් වරදින තැනදී එයට හේතුව සොයාගෙන එම ගමන්මග වෙනස් කරන්නට අප ක්‍රියාකාරීවීමය. අපි අපගේ ආත්මාර්ථයට ඉඩ දුන් සැමවිටම ඒ ගැන මනස්ථාපනය වී උන්වහන්සේගේ දයා කරුණාවේ පහස ලබාගනිමින් නැවත හරිමග යන්නට තරම් බැහැපත් වුවහොත් උන්වහ්සේ අප වෙනුවෙන් සැලසුම් කළ මග අප ගෙන යනු ඇත. යක්ෂයා අප ඒ ගමන් මගින් ඈත් කරන්නට දිගින් දිගමට මාන බලයි. ශු. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම ලියවිල්ලේම සඳහන් කරන්නේ, “ක්‍රිස්තියානි ජීවිතය නොනිමෙන අරගලයක් වේ. යක්ෂයාගේ දුර්පරික්ෂා ජයගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය අපට උවමනා වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහාය. මේ අරගලය මිහිරි අත්දැකීමකි. මන්ද දෙවි සමිඳාණන් අපගේ ජීවිතය තුල ජයගන්නා සෑම අවස්ථාවකදීම අපට ඉතා ගැඹුරු සතුටක් අත්විඳිය හැක”(GE 158) යනුවෙනි.

දුර්පරීක්‍ෂා

ඒ නිසා “යක්ෂයා මිත්‍යාවක්, හුදෙක් මානසික චිත්‍රයක්, සලකුණක්, භාෂාවේ වචනයක් හෝ මනසේ මතුවන අදහසක් පමණක් යයි අප නොසිතිය යුතුය”. (GE 161) ඔහු ඇත්තෙන්ම, සමිඳාණන් වහන්සේගේ සැලැස්මෙන් අප පිට පනිනවා දකින්නට කැමති මරණයේ ඒජන්තවරයාය. ශු. පේදුරු තුමා ඒ ගැන ලියා ඇත්තේ "අවදිව සිටින්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන්කවරෙකු ගිලගනිමි දෝයි සොයමින් ඔබ මොබ ඇවිදින්නේය" ( 1 පේදුරු 5:8 ) යනුවෙනි. ගිහියන්ට වඩා පූජක අපට දෙවියන් වහන්සේගේ මග හැර යන්නට දුර්පරීක්‍ෂා බොහොමයකි.

සියල්ලට වඩා අපගේ පූජක කැඳවීම කිසිඳු අයුරකින් ලෞකිකත්වයේ කැඳවීමක් නොවන බව අප වටහා ගත යුතුවේ. එය බොහෝ අපගේ තෝරාගැනීම් තුලද දුර්ෂ්‍යමාන විය යුතුය. දේව කැඳවීම නම්, දේව සැලැස්ම වෙත අප යොමුකරන, අප ශ්‍රේෂ්ඨයින්ගේ තෝරාගැනීම හෝ වෙනත් සිදුවීම් හා පුද්ගලයන්ගේ තෝරාගැනීම් අනුව ගොඩනැගෙන ජීවිත පැවැත්මකි. මරිය වහන්සේ මෙහිදී අපට මග පෙන්වයි. ඒ ඇය “මෙන්න මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස මට ඉටු වේවා.” යන්න සිය ජීවිත මග කරගනිමින් දේව හඬට සවන්දී, තම කැමත්තට වඩා දේව කැමැත්ත ඉටුකිරීම වැළඳගත් නිසාවෙනි. ක්‍රිස්තුන් වහන්සේද එදා තෝරාගත්තේ එවන් කීකරුකම කැයි. අපට කිව හැක.

එදා ගෙත්සමෙනි උයනෙහිදී දෙවි පියාණන් අමතමින්, උන්වහන්සේ කල ලයාන්විත යැදුමද කිකරුකමේ යැදුමකි.“පියාණෙනි, ඔබ කැමති සේක්නම්, මේ කුසලාන මගෙන් පහකළ මැනව. එහෙත් මාගේ කැමැත්ත නොව ඔබවහන්සේගේ කැමැත්ත ඉටු වේවා.”(ලූක් 22:42). ඇත්තෙන්ම මේ අවස්ථාව උන්වහන්සේට ඉතා වේදනාකාරී මෙහොතක් වූ බව ශුද්ධවූ ලියවිල්ල සඳහන් කරයි.

ලූක් තුමා සඳහන් කරන්නේ :“දේව දුතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේය. උන්වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක් වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක” යනුවෙනි. අපගේ කැඳවීමේ ගමන් මග අප ශ්‍රේෂ්ඨයන් තුලින් ගනු ලබන තීරණ හා අප සඳහා ඔවුන්ගේ ඇතැම් තෝරා ගැනීම් ඉදිරියේ අපි ඇතැම්විට සසලවෙමු. බියට පත් වෙමු. එවැනි තෝරාගැනීම් අප ප්‍රතික්ෂේප කරන්නේ නම්, අප දේව කැමැත්ත නොව, අපගේ කැමැත්ත ඉටු කරගන්නට යොමුවෙමු. එසේ වීමෙන් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සැලසුම් කළ මග නොයමින්, උන්වහන්සේ අප පරිශුද්ධවත් බව වෙත ගෙන යාම සඳහා දරණ උත්සහාය ප්‍රතික්ෂේප කරමු. මෙහිදී අපගේ සතුට සැපත ලෞකිකත්වයේ සීමා තුල සෙවීම ප්‍රමුඛත්වයට පැමිණේ. එසේ කිරීමෙන් අප වෙනුවෙන් උන්වහන්සේ සැලසුම් කල කුරුසියේද උත්ථානයේද සතුට අත් දැකීමේ ඉඩකඩ අපෙන් ගිලිහී යනු ඇත- ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය වැළඳ ගත්තේ කැමැත්තෙනි. උන්වහන්සේ මෙලොවට පැමිණියේ මේ මරණය වැළඳ ගැනීමටය. උන්වන්සේගේ මුළු ජීවිතයම කුරුසියේ හෙවනැල්ලෙන් වැසී තිබුණි. ඇමෙරිකානු දේශනාවේදී ෆුල්ටන් ෂීන් අගරදගුරුතුමා සඳහන් කරන්නේ "If he had died in bed he might have been honored but never as a saviour" යනුවෙනි. එනම්: උන්වහන්සේ ඇඳක් මත මිය ගියේනම් එතුමන්ට ගෞරව ලැබෙන්නට ඉඩකඩ තිබුණි. නමුත් ඒ කිසිදා ගැලවුම් කරුවා ලෙස නොවේ. (Those Mysterious Priests" Page 103)

බිය හා චකිතය

දේව කැමැත්තට මා විවිධ අවස්ථාවලදී අවනතවී කටයුතු කරත්දී බිය හා විවිධ ප්‍රශ්නාර්ථයන්ට මුහුණ දීමට සිදු වූවත් ඒ සැම දෙයකදීම එසේ කරන්නට යොමුවීම තුල උන්වහන්සේගේ ආදරය මා අත්දුටුබව ඉතා බැහැපත්ව ප්‍රකාශ කලයුතුවේ. මා 1983දී ධර්මදුතාධාර සංගම්හි ජාතික අධ්‍යක්ෂක දූරය බාරගත් විට ඒ සඳහා මට වඩා අත්දැකීම් සහිත පියතුමන් සිටීම මා බැහැපත් කළ එක අත්දැකීමක් විය. ඒ සඳහා මගේ නුසුදුසු බව දැනීම ඒ අත්දැකීමයි. 1995දී රත්නපුර පදවිය භාරගත් විට යටිතල පහසුකම් ඉතා අල්ප හා මුල්‍ය පහසුකම් නොමැතිවීමේද තතිවය මෙන්ම මා සහමුලින්ම නොදන්නා පරිසරයක සේවය කරන්නට වීමෙන් ඇතිවූ බියද මට තදින් දැනුණි. එහෙත් උන්වහන්සේ මා ශක්තිමත් කළ සේක. 2001දී ඉතා හොඳින් එම පදවිය තුල මාංශ ගතවී සිටි විටෙකදී, නොදන්නා පරිසරයක එනම් වතිකාන කියුරියාවේ සේවය සඳහා මාරුවී යාම තුල මවු රටත්, මෙහි සිටි මගේ මිතුරන්ද හැරයාමේ සිත් තැවුල මට තදින් දැණුනි- එහෙත් කීකරුකම තුල මා ඉදිරියට ගියෙමි. 2001දී රෝමයේ මා සේවය ඇරඹී වැඩි කලක් යන්නට මත්තෙන් ඇති වූ තත්ත්වය නිසා, මා කබලෙන් ලිපට වැටුණේ යයි සිතීම තුල මට ලැබුණු ආතතිය මෙන්ම සියල්ල අතහැර දමා පැමිණීමට තිබු දුර්පරික්ෂාවද මට මහත් ප්‍රහේලිකාවක් විය. එම තත්ත්වය තුලින් ජනිතවූ ඉන්දුනිසීයාවේ හා නැගෙනහිර තිමෝරයේ වතිකානු තානාපතිතුමන් ලෙස පත්වීම හා එම තනතුරේ වගකීම් ගැන කිසිඳු අවබෝධයක් නොමැති කමින් ඇතිවූ බිය නැවතත් මා සසල කළේය. එහි වැඩකටයුතු යම් තාක් දුරට හොඳින් ඉටුකරමින් සිටියදී නැවත රෝමයේ සේවාව සඳහා පිටත්ව යාම තුල සමුගැනීමේ අත්දැකීම වෙත නැවත වරක් යොමු කරනු ලැබීමි ඉන් වසර 5කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට යොමුවුනු පිටත්ව ඒමද එවැනි අභියෝගාත්මක අත්දැකීමක් විය. සභා ශ්‍රේෂ්ඨයන්ගේ මේ සියලු තීරණ තුල සෑම වසර තුනකට වරක්ම පාහේ සිදුවූ මෙම ස්ථාන මාරුවීම් හා නව අත්දැකීම් තුල සේවා කටයුතු නිතර වෙනස්විම නිසා ඇතිවූ දුෂ්කරතාද මගේ ජිවිත ගමන් මග අභියෝගයට ලක් කළේය.

එහෙත් දෙවියන් වහන්සේ ඒ සෑම ස්ථානයකදීම මා දැනුවත් කරමින් මා මෙහෙය වූ අයුරු උන්වහන්සේගේ ආදරය මා අත් දුටු අති සුන්දර මාර්ගය විය. ශු පාවුළු තුමා සඳහන් කරන ආකාරයට “දුර්වලව සිටියදීම මම ශක්ති සම්පන්නව සිටීමි.” : ( කොරින්ති 12:10) එලෙසම මේ මව් බිම තුල දැන් වසර 16ක සේවා කාලයක් අවසන තුල, විශේෂ වශයෙන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් හඬ අවධිකිරීමට මට මග සැලසුනේ, මේ මොහොතේදී මා කොළඹ අගරදගරු පදවිය භාරව සිටි නිසාය. මේ හැම දෙයකින්ම මට ශක්තිය දුන් දෙවි සමිඳාණන්ට මා ඉමහත් සෙනෙහයින් හා බැහැපත් බවින් යුතුව ස්තුති වන්ත වෙමි.

නුසුදුසු පවුකාරයෙකු හා දුර්වල මිනිසෙකු වූ මා තුල උන්වහන්සේ ඉටුකළ වෙනස්වීම් හා පලබරිතවීම් ගැන අතිශයින් බැහැපත් වී උන්වහන්සේට ස්තුති ප්‍රශංසාවත්, ගෞරවයත් පුද කරමින් මා වෙනුවෙන් තවදුරටත් යාච්ඤා කරන ලෙසද ඉල්ලා සිටිමි- කවදා හෝ උන්වහන්සේගේ දයාබර කරුණාව තුල උන්වහන්සේගේ නිමක් නැති ආදරයේද මහිමයේද ශක්තිමත් සාක්ෂි කරුවෙකු වන්නට උන්වහන්සේගේ කැමැත්ත තුලින් ඉඩකඩ ලැබේවායි කියාද මා ප්‍රර්ථනා කරමි. උන්වහන්සේට සදා මහිමයත් ප්‍රශංසාවත් අත්වේවා. ආමෙන්